පුනර්ජනනීය බලශක්තිය වටේ යවන අපේ රටේ තාප විදුලි හොර කණ්ඩායම… ඩලස්… ඩලස්… ගා ලයිට් යන්නට පෙර

divaina.com 2020  අගෝස්තු 18  බුලිත ප‍්‍රදීප් කුමාර විසිනි

 

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේත් අගමැති මහින්ද රාජපක්ෂගේත් නායකත්වයෙන් යුතු අලූත් ආණ්ඩුවට, පටන්ගත් මොහොතේම අලූත් ප‍්‍රශ්නයකට මුහුණ දීමට සිදුවිය. ඒ වූ කලී පසුගිය 17 වැනි සඳුදා දහවල් මුළු රටටම බලපාන පරිදි සිදුවූ විදුලිය බිඳ වැටීමත් සමඟම ඇතිවූ වත්මන් විදුලි අර්බුදයයි. කෙරවලපිටිය යුගදනව් බලාගාරයට යාබදව පිහිටි විදුලි උප පළෙහි සිදුවූ යාන්ත‍්‍රික දෝෂයකින් ආරම්භ වූ මෙම විදුලිය බිඳ වැටීමත් සමඟම රටේ සමස්ත විදුලි සැපයුම පැය 8 ක ටත් වැඩි කාලයක් අඩාල විය.

 

විදුලි බල ප‍්‍රභවයන්ගේ සැපයීම්වල කිසිදු අඩුවක් නොමැතිව මෙසේ හදිසි විදුලිය බිඳ වැටීමක් ඇති වූයේ කෙලෙසද. එය නවරජය බලයට පත් වී අලූත් ඇමැතිවරු වැඩ භාර ගැනීමත් සමඟම ඇති වූ, රජයට එරෙහි විරෝධතාවයන්හි ප‍්‍රතිඵලයක්ද. එසේත් නැත්තම් අලූත් ආණ්ඩුව සතුව ඇති අනාගත විදුලිබල වැඩ සැලැස්මට හා ප‍්‍රතිපත්තිවලට දක්වන ලද ක්ෂණික ප‍්‍රතිචාරයක් ද කියා බොහෝ දෙනා කල්පනා කරන්නට වූහ.

 

එසේ කල්පනා කරන්නට බලපෑ හේතු කාරණාද නොතිබුණාමත් නොවේ. අපේ රටේ හෝ විදුලිය නිපදවීමේදී අනුගමනය කරන ලාභදායීම හොඳම හා ප‍්‍රධානම විභවය ජල විදුලි බලය බව රහසක් නොවේ. අද අපි එහි උපරිමයටම පැමිණ ඇත. දිනෙන් දින ඉහළ යන අතිරේක විදුලිබල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය ප‍්‍රධාන විකල්පය ලෙස තෝරා ගත්තේ තාප විදුලියයි. තාප විදුලිය ගල් අඟුරු හා ඩීසල් යන ප‍්‍රභවයන් දෙකකින්ම ලබා ගැනෙයි. ගල් අඟුරු මගින් ලැබෙන විදුලියෙහි පිරිවැය සාමාන්‍ය වුවත් ඩීසල් ප‍්‍රභවයෙන් උපදවන විදුලියට ගෙවන මුදල අධික ය. යම් යම් අසීරු අවස්ථාවලදී ඩීසල් බලාගාර නිෂ්පාදකයන් සමග අත්සන් කර ඇති හදිසි ගිවිසුම් නිසා ඩීසල් විදුලිබලය අමතක කරන්නට ද රජයට ඉඩක් නැත.

 

ඒකකය රු. 36 ක් 39 ක් පමණ වූ අධික හා නොවටිනා මිල ගණන්වලට විදුලිය ලබා ගත්තත් විදුලිබල මණ්ඩලය අද එය පාරිභෝගිකයන්ට බෙදාහරින්නේ ඒකකයක් (කිලෝ වොට් පැය එකක්) රුපියල් 16.00 ක් බඳු සාධාරණ මිලකටය. විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නට එක හේතුවක් වන්නේ එයයි. මෙම තත්ත්වය සලකා බැලූ ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් සිය රට හදන සෞභාග්‍යයේ දැක්ම ලියැවිල්ලේම විදුලි බලය සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තියක් රටට ඉදිරිපත් කළේය. තිබෙන තත්ත්වය වෙනස් කරන්නට ගැටෙන්නට උත්සාහ නොකළ ඔහු ඉදිරිය ගැන කතා කරමින් කීවේ 2030 වන විට රටේ විදුලි බල අවශ්‍යතාවයෙන් 80%ක් පුනර්ජනනීය බලශක්තිය මත නිපදවන්නට තම රජයක් තුළින් පියවර ගන්නා බව ය.

 

රජයේ විදුලි ප‍්‍රතිපත්තිය…

 

එම ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නංවන්නට ජනාධිපතිවරයා විසින් තම විශ්වාසවන්තම සෙනෙවියකුට විදුලබල විෂය පථය භාර දුන්නේය. මාෆියාවලට නොනැමෙන, සැක සහිත දූෂිත ව්‍යාපෘතිවලට සංවේදී නොවන, නොසැලෙන මිනිසකු වන ඩලස් අලහප්පෙරුම වගකීම භාර ගෙන විෂය ගැන ගැඹුරින් හදාරා අවබෝධයක් ඇති කර ගන්නටත් පෙර මේ සිදු වූයේ කුමක්ද.

 

මෙය නිසැක කුමන්ත‍්‍රණයක් යැයි ජනතාව සැක මතු කළේ හේතු සහිතව ය.

 

ඇමැති ඩලස් මේ පිළිබඳ සොයා බලන්නට විදුලිබල ක්ෂේත‍්‍රය පිළිබඳ උගත්කම් ඇති සංවේදී වෘත්තිකයන් පිරිසකගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කළේය. කමිටුව ඒ මොහොතේ සිටම පරීක්ෂණ ඇරඹීය. පසුගිය සඳුදා කමිටු වාර්තාව එළි දැක්විණි. බදාදා කැබිනට් මණ්ඩලයට ඇමැති ඩලස් විසින් එය ඉදිරිපත් කර තිබිණි. කමිටු වාර්තාවට අනුව එම පැය අටේ විදුලිය බිඳ වැටීම සිදුව ඇත්තේ විදුලි අධිකාරීවරයකු අතින් සිදුවූ අත්වැරැද්දක් හේතුවෙනි.

 

කඩාකප්පල්කාරී ක‍්‍රියාවක්, කුමන්ත‍්‍රණයක් යැයි කියමින් ආරම්භ කළ පරීක්ෂණයේ ප‍්‍රතිඵලය ‘අත් වැරැද්දකට’ සීමා වීම තුළ පොදු ජනතාව ‘අත් වැරැද්ද’ යන වචනය විග‍්‍රහ කරමින් බලන්නට පටන් ගත්හ. යමෙකුට අත්වැරැද්ද යන ක‍්‍රියාකාරකමට මුවා වී කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් කළ නොහැකි ද යන තර්කය සමාජගත වූයේ ඉන් අනතුරුවයි.

 

සිදුවූ විපත දැන් සිදුවී අවසන් ය. ඒ පිළිබඳව දඬුවම් දීම හෝ ප‍්‍රතික‍්‍රියාවන් කෙසේ වුවත් මෙතැන් පටන් ඉදිරියට ගමනක් යන්නට නම් කළ යුතු වැඩ කොටසක් ඇත්තේ ය. එහි එක් පියවරක් වන්නේ අපට මේ වැරදුනේ කොතැනින්ද නිවැරදිව තේරුම් බේරුම් කර ගැනීමය.

 

ඉදිරියේ දී එන අධික විදුලි ඉල්ලූමට විසඳුමක් ලබා දීමටත්, ජනතාවට විදුලිය බරක් නොවීමටත්, පරිසර දූෂණයෙන් හා නාස්තියෙන් තොරව බලශක්ති උත්පාදනයටත් රජයේ අවධානය යොමු වූයේ අද ඊයේ නොවේ. පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ කතිකාව සමාජයට ආවේ බොහෝ කලක පටන් ය. 2015 ට පෙර තිබූ රජයන් මෙන්ම ඉන් පසුව පැමිණි යහපාලන ආණ්ඩුවෙන් ද ඒ සඳහා යම් යම් සාධනීය යෝජනා පැමිණි බව අපි අමතක කළ යුතු නො වේ.

 

ගැටලූවක් නොමැති ක‍්‍රමවේදය…

 

2015 ට පෙර ලංකා විදුලි බල මණ්ඩලය විදුලි නිෂ්පාදකයන්ගෙන් විදුලිය මිලදී ගන්නට එක්තරා ක‍්‍රමවේදයක් අනුගමනය කළේය. ඒ අනුව ඔවුන් ජල හෝ තාප හෝ පුනර්ජනනීය විදුලි නිෂ්පාදන මිල දී ගන්නට මුලින්ම මිලක් නියම කළේය. ඒ ඒ මිල ගණන් යටතේ නිෂ්පාදන ලබා දෙන්නට අදාළ ක්ෂේත‍්‍රයේ නිෂ්පාදකයෝ කැමතිනම් ඒ සඳහා විදුලි බල මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹිය හැකි ය. අනතුරුව සුදුසු තැනක් සොයාගෙන බලාගාරයක් ඉදිකර එමඟින් විදුලිය නිෂ්පාදනය කර අදාළ මිල යටතේ ජාතික පද්ධතියට විදුලිය එක් කරන්නට නිෂ්පාදකයන්ට හැකියාවක් තිබිණි. මෙම ක‍්‍රමය යටතේ ඉතා කෙටි කලකින් මෙගා වොට් 550 ක විදුලියක් ජාතික පද්ධතියට එක් කරන්නට නිෂ්පාදකයෝ සමත් වූහ.

 

2015 දී බලයට පත්වූ නව රජයේ විදුලිබල ඇමැතිවරයා වූ චම්පික රණවක එම ක‍්‍රමයට කැමති වූයේ නැත. එමගින් විදුලි බල මණ්ඩලයේ විදුලි මාෆියාව නිෂ්පාදකයන්ගෙන් අත යට මුදල් ලබනවා යැයි සිතූ ඇමැතිවරයා එම ක‍්‍රමය වෙනුවට ටෙන්ඩර් ක‍්‍රමයක් හඳුන්වා දුන්නේ ය. ඔහු සිතුවේ ටෙන්ඩර් ක‍්‍රමය මගින් ඉතා අඩු මිලට නිෂ්පාදකයන්ගෙන් විදුලිය මිලට ගත හැකිවේය කියාය. එහි දී ඔහු වඩාත් අවධානය යොමු කළේ පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් කෙරෙහිය. බැලූ බැල්මට මෙය ඉතා ඥාණාන්විත පියවරක් බව පැහැදිලි වේ.

 

එහෙත් එමඟින් සිදුවූයේ කුමක් ද. 2016 සිට 2020 දක්වාම අවස්ථා 8 කදී මෙගා වොට් 750ක් නිම කිරීමට විවිධ ආයතන සහ පුද්ගලයන් ටෙන්ඩර් අනුමැතිය ලබා ගත්තත් වසර අවුරුදු 5 ක් ගතව ගිය පසුත් නිපදවන්නට පුළුවන් වූයේ මෙගා වොට් 32ක් පමණක් වීමය.

 

2016 අපේ‍්‍රල් මාසයේ දී මෙගා වොට් 350ක එල්. එන්. ජී. බලාගාරයක් ඉදිකිරීම සඳහා වින්ඩ්ෆෝස් ප‍්‍රයිවට් ලිමිටඩ් සමාගම ටෙන්ඩරය ලබා ගත්තේ ය. එය ඉතා ලොකු ප‍්‍රාග්ධනයක් සහිත සමාගමකි. අප‍්‍රිකාව ඇතුළු ලෝකයේ රටවල් විශාල ගණනක මුදල් ආයෝජනය කර විදුලි නිෂ්පාදන ව්‍යාපෘති පවත්වාගෙන යන එම සමාගම වසරකට ඩොලර් මිලියන දෙකක් පමණ ආදායමක් මෙරටට ගෙන එන බව කියයි. එහෙත් එම සමාගමට මෙම ව්‍යාපෘතිය පටන් ගන්නට නොහැකි වූයේ ආරම්භයේ සිටම විදුලි බල මණ්ඩලයටම අනුබද්ධිත එල්. ටී. එල්. සමාගම සමග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නඩුවකට පැටලීමට සිදුවූ නිසා ය. අන්තිමේ එම ටෙන්ඩරය එල්. ටී. එල්. සමාගමට ලබා දෙන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය එකඟත්වය පළ කළේ ඊයේ පෙරේදා ය. ප‍්‍රශ්නය වන්නේ මෙම ක‍්‍රමය යටතේ මෙවැනි ව්‍යාපෘතියක් අද පටන් ගත්තත් විදුලි බල මණ්ඩලය සමග අදාළ ගිවිසුම් අත්සන් කර බලාගාරය නිමවා යන්ත‍්‍ර සූත‍්‍ර සවිකර විදුලිය ලබා ගන්නට අඩුම තරමින් තව වසර තුනහමාරක්වත් බලා සිටින්නට සිදුවීමයි.

 

මෙ. වො. 750ක් හිරවූ හැටි…

 

සෙසු සියලූම ව්‍යාපෘති නොකෙරෙන්නට හේතුව ඔවුන්ගේ නොහැකියාවයි. එසේත් නැත්නම් ආයතනික කපටි කෛරාටික කමයි. අඩු මිලට ටෙන්ඩර් ලබාගෙන ඒවා ක‍්‍රියාත්මක කළ නොහැකි නිසා දවසින් දවස කල් යවමින් රජයේ පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීමේ ව්‍යාපෘතිය කඩාකප්පල් කරමින් රජයට වැඩි මිලට ඞීසල් විදුලි නිෂ්පාදන ලබා ගැනීමට අවස්ථාව සැලසීම ඔවුන්ගේ ව්‍යාපෘතිවල අරමුණ නොවේ යැයි කිව හැක්කේ කාටද.

 

පහත සඳහන් වන්නේ පසුගිය කාලය තුළ එසේ අසාර්ථක වී ගිය තවත් පුනර්ජනනීය බල ශක්ති සැපයුම් ව්‍යාපෘති කීපයකි.

 

චුන්නාකම් ප‍්‍රදේශයේ මෙගා වොට් 10 ක ධාරිතාවකින් යුතු සුළං බලාගාර දෙකක් ඉදිකර මෙගා වොට් 20 ක විදුලියක් ලබා දෙන්නට සීලෙක්ස් ඉංජිනියරින් (Ceylex Engineering) සමාගම ටෙන්ඩරය ලබා ගත්තේ 2016 වසරේ අපේ‍්‍රල්වලය. එහෙත් එය නිම කරන්නට ඔවුන්ට වසර හතරකට වඩා වැඩි කලක් ගත විය. මෙගා වොට් එක බැගින් වූ සූර්ය බල ව්‍යාපෘති 60ක් ආරම්භ කර මෙගාවොට් 60ක් ලබා දෙන්නට පොඩි පොඩි කොම්පැණි 12ක් ටෙන්ඩර් ලබා ගත්තත් අද වන විට විදුලි බල සැපයුමට එක්කර ඇත්තේ මෙගාවොට් 12ක් පමණි. ඇබර්ඩීන් හෝල්ඩින්ස් (Aberdeen Holdings) හා තවත් ආයතනයක් විසින් වව්නතිව්වල හා පොළොන්නරුවේ මෙගාවොට් 10 බැගින් වූ සෝලා බලාගාර දෙකක් ඉදිකරන්නට ගත් ටෙන්ඩරය ද අසාර්ථක විය. සූර්ය තාපයෙන් මෙගා වොට් එක බැගින් වූ බලාගාර 90ක් නිපදවීමට 2018 ආයතන 70ක පමණ ටෙන්ඩර් ලබා ඇතත් දැනට වැඩ ආරම්භ කර ඇත්තේ ඉන් ඉතා ස්වල්ප දෙනකු පමණි.

 

2019 නොවැම්බර් මාසයේ සුළං බලාගාර මගින් මෙගා වොට් 60 කටත් 2020 මාර්තුවේ දී නැවත සූර්ය තාපය මගින් මෙගා වොට් 150 කටත් කුඩා කුඩා නිෂ්පාදකයන් හා ව්‍යාපාරිකයන් ගණනාවක් විසින් ටෙන්ඩර් ලබා ඇතත් තවමත් සතුටුදායක ප‍්‍රතිඵල පෙන්වා නැත. මේ විදුලිබල මණ්ඩලය මගින් ප‍්‍රසිද්ධියට පත් කරන ලද ටෙන්ඩර් කීපයක් පමණි. ප‍්‍රසිද්ධියට පත් නොකරන ලද ව්‍යාපෘති ද ගණනාවක් තිබෙන බව කිව යුතු ය.

 

ඇමැති චම්පික ඉංජිනේරුවෙකි. උගතෙකි. විදුලි බල නිෂ්පාදන හා බෙදාහැරීම් ක්ෂේත‍්‍රය පිළිබඳ හොඳ අවබෝධයක් ඇත්තෙකි. ගුරුන්ටත් අකුරු වැරදුනා සේ ටෙන්ඩර් ක‍්‍රමය මගින් ඔහුගේ ක‍්‍රමවේදයද අබල් බබල් වී ගියේය.

 

විදුලි බල ක්ෂේත‍්‍රයේ නිෂ්පාදන හැකියාවක් නැති, පළපුරුද්දක් නැති විවිධ ආයතන හෝ පුද්ගලයෝ දේශපාලන දැන හැඳුනුම්කම් මත පැමිණ රුපියල් 8.00 ක් 9.00 ක් වැනි අඩු ලංසු ඉදිරිපත් කරමින් ටෙන්ඩර් ලබාගත්තාට ප‍්‍රායෝගික ලෝකයේ ඒවා ක‍්‍රියාත්මක කළ නොහැකි වූයේ එවකට අදාළ නිෂ්පාදන ක‍්‍රමවේද, යන්ත‍්‍ර සූත‍්‍ර හා තාක්ෂණය ගණනය කළාට වඩා මිල වැඩිව තිබූ නිසා ය. ඒ එක පැත්තකි.

 

අපි නොදන්නා තවත් පැත්තක් තිබේ. ඒ වූ කලී ටෙන්ඩරය මගින් අසාමාන්‍ය අඩු ලංසුවක් ඉදිරිපත් කර ටෙන්ඩරය අතට ගෙන පුනර්ජනනීය බලශක්තිය සඳහා වූ රජයේ වැඩපිළිවෙළ අසාර්ථක කිරීමට තවත් පිරිසක් සැලසුම් සහගතව සූදානම්ව සිටීමයි. ඒ තුළින් වඩ වඩාත් වාසි සැලසෙන්නේ හදිසි අවශ්‍යතා මත ඞීසල් විදුලිය මිලදී ගැනීම්වලට ය. මිල සුළුපටු නැත. එය රු. 30ත් 40ත් අතරය.

 

සූර්ය බලාගාර හෝ සුළං බලාගාර විදුලි ඒකකය සාධාරණ මිලකට ලබාගෙන ඉදිකරන්නට හැකි, පළපුරුදු නිෂ්පාදන ආයතන බොහෝ තිබියදී වෙනත් අතරමැදියෝ හෝ ඩීසල් නිෂ්පාදකයන්ගේ තැරැව්කරුවෝ ඉදිරිපත් වී අඩු ලංසු මත ටෙන්ඩර් ලබාගෙන එම ව්‍යාපෘති හිරකර තබා ගෙන සිටියහ. මේ පිළිබඳ සැකය සාමාන්‍ය ජනතාව තුළ මතුවීම කිසිසේත්ම අසාධාරණ නැත.

 

වත්මන් විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී විදුලි බලය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කළේ ය. රජයේ ප‍්‍රතිපත්තිය 2030 වන විට දී රටට අවශ්‍ය විදුලි නිෂ්පාදනයෙන් 80% පුනර්ජනනීය බලශක්තිය මත නිපදවීම බව ඔහු කීවේය.

 

එය පහසු ඉලක්කයක් නොවේ. එක් අතකින් යුද්ධයක් බව පැහැදිලි ය. යුද්ධය කළ යුත්තේ එක් පැත්තකින් හදිසි අවශ්‍යතා මත විදුලිය සපයන ඩීසල් බලාගාර නිෂ්පාදකයන් ආරක්ෂා කරන දේශපාලනඥයන් සමඟය. අනිත් පැත්තෙන් ඩීසල් විදුලි නිෂ්පාදනය ආරක්ෂා කරන මේ රටේ විදුලි නිලධාරී හා ඉංජිනේරු මාෆියාව සමග ය. දේශපාලනඥයන් සමග සටන කෙසේ වෙතත් මේ මාෆියාව සමග කරන සටන පහසු නොවන්නේ අපේ රටේ විදුලිබල නිෂ්පාදන හා බෙදාහැරීමේ පද්ධතිය ආරක්ෂා කරන රහස්, මෙහෙයුම් පද්ධති හා දැනුම් සම්භාරය ඇත්තේද ඔවුන් අතම වීම නිසාය. මේ ඒකාධිකාරිය ‘‘ඩලස්” ගා විදුලිය ගියා සේ ‘‘ඩකස්” ගා පුපුරුවා හරින්නට ඩලස්ට පහසු නැත.

 

වී ඇති දේ ගැන කතා කරනවාට වඩා දැන් අපි අවධානය යොමු කළ යුතුව ඇත්තේ සිදුවිය යුතු දේ ගැනය. රටට ඵලදායී වන්නේ සිදුවිය යුතු දේ සිදු කළ යුතු හොඳම ක‍්‍රමය අනුව කිරීමෙන් පමණකි.

 

වරද නිවැරදි කිරීමට නම්…

 

එසේ නම් මේ තියන විදුලිබල අර්බුදයට පිළියම් සෙවිය යුත්තේ කෙසේ ද. 17 වැනිදා ඇති වූයේ විදුලිබල නිෂ්පාදනය පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. මේ රටේ විදුලි බලය බෙදා හැරීම පිළිබඳ ප‍්‍රශ්නයකි. අත්වැරදීමකින් හෝ හිතා මතා හෝ යම් කිසි තැනක වරදක් වූයේ නම් අද පවතින මධ්‍යගත ක‍්‍රමය (centralized system) තුළ ඇති එකම විසඳුම වන්නේ ස්වයංක‍්‍රීය විසන්ධිකරණයයි. කෙරවලපිටියේ ඇති වූ දෝෂයකින් නොරොච්චෝලේ විදුලි බලාගාරය ආරක්ෂා කර ගැනීමට ස්වයංක‍්‍රීයව නොරොච්චෝලේ බලාගාරය ප‍්‍රධාන විදුලි පද්ධතියෙන් ඉවත් වූයේ ඒ අනුවය. මුළු රටටම විදුලි බලය නැති වූයේ නොරොච්චෝලේ බලාගාරයෙන් උපදවන මෙගාවොට් 900න් 600 ක පමණ වූ විදුලියක් ස්වයංක‍්‍රීයව විසන්ධි වීම නිසා ය.

 

අද වන විට ලෝකයේ දියුණුම රටවල් භාවිතා කරන විදුලි පරිවහන පද්ධතිය වන්නේ ‘‘ස්මාට් ග්‍රිඩ්” (smart grid) පද්ධතියයි. අපේ රට වහාම බත්තරමුල්ල පද්ධති පාලක මධ්‍යස්ථානය මගින් හසුරුවන මධ්‍යගත පාලනයෙන් (centralized system) එකෙන් ඉවත් වී ස්මාට් ග්‍රිඩ් (smart grid) පාලන ක‍්‍රමය වෙත යා යුතු යැයි ස්වාධීන විදුලි බල ඉංජිනේරුවන් යෝජනා කරන්නේ ඒ නිසා ය.

 

ඒ එක් පැත්තකි. අනිත් පැත්තෙන් රජය වහාම කෙරවලපිටියේ යෝජිත එල්. එන්. ජී. බලාගාරයේ වැඩකටයුතු ආරම්භ කළ යුතුව ඇත. එබඳුම මෙගාවොට් 300ක බලාගාරයක් 2021 දී ආරම්භ කිරීමටත් යෝජිතය. එහි ටෙන්ඩර් කටයුතුවත් තවම සකසා නැත. එම නිසා එල්. එන්. ජී. රඳවා තැබීමට ටර්මිනලයක් තැනීමට පෙරුම් පුරනවා වෙනුවට එල්. එන්. ජී. රඳවනයක් මුහුද මැද බත්තලයක තබා එමගින් වහා බලාගාරයේ නිපැයුම් කටයුතු ආරම්භ කළ යුතු යැයි යෝජනා කරන්නේ රටට ආදරය කරන දැන උගත් ඉංජිනේරුවෝ ය.

 

එහෙත් රජය පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීන්දුවක් ගත්තේ නොරොච්චෝලෙට තවත් මෙගාවොට් 300ක ගල් අඟුරු බලාගාරයක් ලබාදීම සඳහාය. ඒ නොරොච්චෝලයේම සේවය කරන ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් පිරිසක් නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 900ක ධාරිතාවයක් සහ තවත් 300ක ධාරිතාවයක් සහිත ඒකාධිකාරියක් චීන සී. එම්. ඊ. සී. ආයතනයටම ලබා දෙන්නට එපා යැයි ඉල්ලීමක් කර තිබෙන පසුබිමක ය. ඇරත් මෙම බලාගාරයේ ප‍්‍රතිඵලය එන්නට තවත් වසර තුනහමාරක් බලා සිටිය යුතු බවද රහසක් නො වේ.

 

ජනාධිපතිගේ 2030 සිහිනය…

 

එහෙත් ජනාධිපතිතුමාගේ 2030 සිහිනයට හා ඉලක්කයට ළඟා වීමට නම් ඊටත් වඩා වටිනාකමක් සුළං විදුලි බලාගාරවලට හා සූර්ය බලාගාරවලට දිය යුතු ව ඇත. ඒ සඳහා වහාම ක‍්‍රියාත්මක වන පරිදි දැනට තිබෙන ටෙන්ඩර් ක‍්‍රමය ඉවත් කළ යුතුව ඇත. ඒ වෙනුවට 2015 ට පෙර පැවැති විදුලිබල මණ්ඩල විසින් මිල ගණන් තීරණය කිරීමේ සුපුරුදු ක‍්‍රමය නැවැත ගෙන ආ යුතු වෙයි.

 

රජය මිල ගණන් තීරණය කර ඒ සඳහා පුද්ගලික අංශයේ තාක්ෂණය හා ප‍්‍රාග්ධනය හිමි ශක්තිමත් ආයතන වෙත ඒ සඳහා සහභාගිවීමට විවෘත මාර්ගයක් පාදා දිය යුතු ය. එම මුදලට මිලදී ගැනීමට එකී බලාගාර ඉදිකිරීම සඳහා නිශ්චිත කාලයක් ද ලබාදිය යුතු සේම එසේ නොවන්නේ නම් රාජසන්තක කරවන පොරොන්දුවක් පිට ඇප තැන්පතුවක් ද ලබාගත යුතුය.

 

ඒකකය රුපියල් 8.00ට 9.00ට පමණ වූ පහළ අගයක් තීරණය නොකර නිෂ්පාදකයාගේ ප‍්‍රාග්ධනයට හා ව්‍යවසායකත්වයටත් වටිනාකමක් හිමිවන ලෙස රුපියල් 11.00ක්, 12.00ක් වැනි මුදලකට තක්සේරු කර ලබා දෙන්නේ නම් වසරක් ඇතුළත සුළං බලාගාර හෝ සූර්ය බලාගාර ඉදිකිරීමට හැකියාව ඇති ඕනෑ තරම් ආයතන මේ රටේ සිටින බව කීමට තවත් සාක්ෂි අවශ්‍ය නැත.

 

මේ රටේ පුනර්ජනනීය විදුලි නිෂ්පාදනයේ යෙදෙන සමාගම් 70ක් පමණ තිබෙන බව පැහැදිලිය. ඒවා අතරින් සීලෙක්ස් ඉංජිනියරින්, වින්ඩ්ෆෝස් ප‍්‍රයිවට් ලිමිටඩ්, විදුලංකා ඉංජිනියරින්, සෝනෙක්ස්, වැනි ප‍්‍රමුඛ පුරෝගාමී ආයතන මෙම ව්‍යාපෘතිවලට පෙරමුණ ගන්නට පසුබට වන්නේ නැත.

 

එක් ආයතනයක ප‍්‍රධාන පෙළේ ඉංජිනේරු නියෝජිතයෙක් මා සමග පැවසුවේ ජනාධිපතිතුමා ගේ 2030 ඉලක්කය සපිරීම සඳහා පමණක් නොව, රටට ලාභදායී පරිසර හිතකාමී සෞඛ්‍යාරක්ෂිත බලශක්ති පරිභෝජනයක අයිතියද ලබා දෙන්නට තම ආයතන සූදානමින් සිටින බවකි.

 

කළ යුත්තේ සිදුවූ දේ ගැන සොය සොයා පසුතැවීම නොවේ. ඉලක්කය වෙනුවෙන් කළ යුතු හොඳම දේ කිරීම සඳහා කැපවීම හා වගවීම ම නොවේ ද ?